Skip to main content

ගෝඨාභය: සෙබළා සේනාධිනායක පදවියට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවේ හත්වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්ව සිටී.

මෙම සටහන හත්වෙනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ගමන්මග පිළිබඳව කෙටි විමසුමකි.

  • සම්පූර්ණ නම - නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
  • උපන් දිනය - 1949 ජුනි 20
  • උපන් ප්‍රදේශය - දකුණු පළාත, මාතර, පාලටුව
  • අධ්‍යාපන සුදුසුකම් - ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධිය - මැඩ්රාස් විශ්වවිද්‍යාලය, තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව - කොළඹ විශ්වවිද්‍යාලය
  • මවුපියන් - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී ඒ රාජපක්ෂ සහ දන්දිනා සමරසිංහ දිසානායක
  • සහෝදර සහෝදරියන් -චමල් රාජපක්ෂ, ජයන්ති රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඩඩ්ලි රාජපක්ෂ, ප්‍රීති රාජපක්ෂ, ගාන්ධිනි රාජපක්ෂ
  • බිරිඳ - අයෝමා රාජපක්ෂ
  • පුතු - මනෝජ් රාජපක්ෂ (මුලාශ්‍ර gotabaya.info)

වෘත්තීය ජීවිතය - 1971 කැඩෙට් නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වුණ ගෝඨාභය රාජපක්ෂ, 1972 උප ලුතිනන්වරයකු වශයෙන් රාජකාරි ආරම්භ කර ඇත.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, රජරට රයිෆල්ස් හා ගජබා රෙජිමේන්තුවේ සේවය කර ඇති ඔහු, 1992 වසරේ දී ලුතිනන් කර්නල් නිලයට පත්විය.

ඔපරේෂන් ලිබරේෂන්, ස්ට්‍රයික් හාර්ඩ්, ත්‍රිවිධ බලය යන හමුදා ක්‍රියාන්විතවලට ඔහු සහභාගී වී ඇත.

දිනා ඇති සම්මාන:

  • රණ වික්‍රම පදක්කම
  • රණ සූර පදක්කම

1992 වසරේ දී ස්වකැමැත්තෙන් හමුදා සේවයෙන් ඉවත් වුණු ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එහි පුරවැසි භාවය ලබා ගත්තේය.

ගෝඨාභය රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය,

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූර අපේක්ෂකයා හැටියට නම් කරන ලද ඔහුගේ සොහොයුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ

යුද්ධයේ නිමාව

2005 වසරේ බලයට පත් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්, 2005 නොවැම්බර් මාසයේ ගෝඨාභය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයට පත්කරනු ලැබුණි.

2006 දෙසැම්බර් මාසයේ දී ගෝඨාභය රාජපක්ෂ ගමන් ගත් රථයක් ඉලක්ක කර ගනිමින් කොළඹ පිත්තල හංදියේදී එල්ටීටීඊ සංවිධානය විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද අතර ඉන් ඔහුගේ ජීවිතයට හානියක් නොවීය.

2009 මැයි 19 වෙනි දින, එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කරනු ලැබීමෙන් පසු, දකුණේ සිංහල බහුතරය අතර ගෝඨාභය රාජපක්ෂ කැපී පෙනෙන චරිතයක් වශයෙන් මතු විය.

නගර අලංකරණය

ආරක්ෂක අමාත්‍යංශය 2011 වසරේදී 'ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය' යනුවෙන් ප්‍රතිනාමකරණය වූ අතර, එහි ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නගර අලංකරණය ඉලක්ක කරගෙන නිශ්චිත ව්‍යාපෘති කීපයක් ම දියත් කළේය.

එසේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් නව නගර අලංකරණ ව්‍යාපෘතියට ලක්කළ ප්‍රධාන ස්ථාන:

  • බත්තරමුල්ල දියත උයන
  • නුගේගොඩ තෙත් බිම් උද්‍යානය
  • අපේ ගම පරිශ්‍රය
  • කොළඹ තුරඟ තරග පිටිය
  • වේරැස් ගඟ උද්‍යානය
  • ආකේඩ් වෙළඳ සංකීර්ණය
  • කොළඹ හමුදා මූලස්ථානය
ගෝඨාභය රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය,

ගෝඨාභය රාජපක්ෂ සිය බිරිඳ අයෝමා සමඟ

2015 පරාජයෙන් පසු

2015 ආණ්ඩු පෙරැළියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ පරිපාලන හා දේශපාලන ක්‍ෂේත්‍රයෙන් ඈත් වී කටයුතු කළ අතර, බලයේ සිටි කාලය ඇතුළත ජනමාධ්‍ය ආයතන කීපයක් සහ ඇතැම් ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල කෙරුණ ප්‍රහාර සහ අතුරුදහන්වීම් මෙන්ම දූෂණ වංචා සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වෙන්නට විය.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ තමන්ට එරෙහිව නැගෙන චෝදනා හඳුන්වන ලද්දේ දේශපාලන පළිගැනීම් සහ මඩ ගැසීම් වශයෙනි.

රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන අපරාධ හා මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් 2015 බලයට පත් රජය ආරම්භ කළ අපරාධ හා මූල්‍ය පරීක්ෂණ කීපයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂගෙන් අවස්ථා කීපයකදී ප්‍රකාශ ලබා ගෙන ඇත.

ගෝඨාභය රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය,

ගෝඨාභය රාජපක්ෂ යුද නිලධාරීන් සමඟ එවකට ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවක්

ඇමරිකානු පුරවැසිභාවය

යුද හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇමරිකාවට සංක්‍රමණය වී එරට පුරවැසිභාවය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයකට තරග වදින්නේනම් 19 වැනි සංශෝධනය අනුව ඔහු සතු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත යුතු විය.

ඒ අනුව තමා සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර ගන්නා ලද බව ගෝඨාභය රාජපක්ෂ කියා සිටියත්, එය ඊට එකඟ නොවන්නන් අධිකරණය ඉදිරියට යෑමට පවා තුඩුදුන් විවාද සම්පන්න මාතෘකාවක් බවට පත්විය.

2019 ජනාධිපතිවරණ වේදිකාවේ පවා එක් ප්‍රධාන සංවාදයක් වුණේ එම ප්‍රශ්නයයි.

කෙසේවුවද, 2019 නොවැම්බර් 16 වෙනි දින පැවති ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින්, ශ්‍රී ලංකාවේ හත්වෙනි ජනාධිපතිවරයා හැටියට දිව්රුම්දීමට ඔහු සුදුසුකම් ලැබීය.

කියවන්න;

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකා රජයේ මුදල් "අවභාවිතය": ගෝඨාභයට එරෙහි නඩුවට අදාළ මෙතෙක් තොරතුරු

  යාවත්කාලීනවී ඇත 25 ජනවාරි 2019 ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK/GR/BBC හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පියා වූ, ඩී ඒ රාජපක්ෂගේ 47 වන ගුණ සමරුවට සමගාමීව, 2014 වසරේ නොවැම්බර් 6 වන දින වීරකැටියේදී ඔහුගේ නමින් අනුස්මරණ කෞතුකාගාරයක් විවෘත කෙරිණි. කෞතුකාගාරය සඳහා එවක ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක පමණ මුදලක් අපහරණය කළේ යැයි චෝදනා එල්ල වී තිබේ. රාජ්‍ය සම්පත් වැය කරමින් ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම, 'අවිධිමත් ක්‍රියාවලියක්' ලෙස, 2014 ට අදාළ විගණනයේ සඳහන් බව, එම කරුණ සම්බන්ධයෙන්  2018 පෙබරවාරි 6 වන දින නිකුත් කළ විශේෂ වාර්තාවේ  විගණකාධිපතිවරයා සඳහන් කරයි. කෞතුකාගාරය ඉදිකෙරුණේ, ඩී ඒ රාජපක්ෂ පදනම හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාව සමග ඇති කර ගත් නීත්‍යනුකූල එකඟතාවක් මත වන බැවිනුත්, එසේම එය සිවිල් ගනුදෙනුවක් බවත් පවසමින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණයට කරුණු දක්වා තිබිණි. ගෝඨාභය රාජපක්ෂට අමතරව, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද්

ගෝඨාභයට එරෙහි නීති පියවර වළකමින් නියෝගයක්

  ඡායාරූප මූලාශ්‍රය, GETTY IMAGES හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදූ දේපොළ නීතිය යටතේ නීතිමය පියවර ගැනීම ලබන මස 6 වෙනිදා තෙක් වළකාලමින් අභියාචනාධිකරණය අද (නොවැ 29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණය එම පියවර ගනු ලැබුවේ පොදු දේපොළ පනත යටතේ තමාට එරෙහිව පියවර ගැනීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනුකළ පෙත්සම සලකා බැලීමෙනි. ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ අධිකරණයට කරුණු දක්වා ඇති බව පෙත්සම්කාර පාර්ශ්වය පෙන්වා දී ඇත. කෙසේනමුත්, එම පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව දෙසැම්බර් 6 වෙනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය එදිනට පෙනී සිටින මෙන් නීතිපතිවරයා හා පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය. https://www.bbc.com/sinhala/sri-lanka-42163238